Monday, April 28, 2014

නියාව දනිමි

මේ වූ කළී මගේ ආත්මයයි..මගේ මනෝ කායික ජීව නිරූපණයයි..රැළින් මග හැරී ගියත් රැල ගැන තැවීමක් නැත්තෙමි...කාළයේ දූලි වැකී වැඩි මහළුව ඝණ වූ සම්ද, එඩිද ඇත්තෙමි...රැලක් හෝ රෑණක් නොපතන්නෙමි..හුදෙකලා මඟ යමි..එහෙත් එමඟ මා එනවිට බොහෝ දෙන මං කඩින් ඉවත්ව මට මඟ ඉඩ දෙන බැව් දනිමි..

කාලය සහ කාලාවර්තී සංයුතීන් ක්‍රමයෙන් මා වටා, මා මඟ හැර, මා පසු කර ඉදිරියට යද්දී, මමද හුදෙකලාව කාලය පසු කර ඉදිරියට යන්නෙමි..ජීවිත කාළය පුරාවටම නොනවතින පාද චාරිකාවක දේශාඨන සැකසුම්, එබිය යුතු සෑම බිම් ධූලි වලායෙහිම තබමි...එහෙත් එකී චාරිකාවට අර...මුණක් නැති නියාව දනිමි..අරමුණක් ඇති චාරිකා ඇත්තෝ විටෙක මා සමඟද, විටෙක මා අවටද සිට, ඔවුන්ගේ සම්ප්‍රයුක්ත අරමුණු මගේ අරමුණු විරහිත මංකඩින් බැහැර ඇති හෙයින්, මගෙන් දුරස්ව අතු මාවත් ගන්නෝ වෙති..එයින් නොතැවෙමි..මක් නිසාද භූමිය යනු අතු මාවත් රැසක එකතු වන හෙයිනි..සෑම නදියකම හිරු පිළිඹුව නලියවන්නට ඉතා සියුම්ව වැටී දිය වළළු මවා විසිරී යන වැසි පොදේ සිට, පාසියෙන් ගහණ යෝධ තුරු අතු පතර තෙක් මා අවට ඇති සියළු වපසරීන් තුළ අතු මාවත් වෙති..ඒවා මට අතු මාවත් වුවද, කාට හෝ දිවි මාවත වන නියාවද දනිමි...

රැලක් සිටි නියාව දනිමි..හිස ආදරයෙන් අත ගෑ අත් තිබුණු නියාව දනිමි...එකී අත් හුස්මක් ගෙන ඇස් පියා ගත් මොහොතක සියුම් මතකයක් ලෙස යළිත් හිසෙහි ගෑවෙන්නට මනෝ ස්වරූපය තබා මගෙන් ඈත්ව සදහටම වෙන්ව ගිය නියාවද දනිමි..මට කාත් කවුරුවත් නැත...එසේ නැති වන නියාවද, යම් දිනෙක සිඳී ගිය වැවක් මත නැඟි රූස්ස ගසක් මෙන් ලෝක රටාවෙන් හුදෙකලා වන නියාවද දනිමි...එසේ වතුදු යම් රේඛිත වත් පසු තැවුමක් නැත...මගේ යෝධ අඩි සටහන් මත පියවර තබමින් මා පසු පස්සේ එන්නෝ නොපතමි...මා සේ මා යන මඟ යන්නට බොහෝ දෙනට නොහැකි බවද ඉඳුරාම දනිමි...

 රූස්ස ගස් කඳන් වල දිරා ගිය පොතු අතරින් පෙරී එන මේ සුළඟින් ලය පුරවා ගන්නවුන් අතර මා වැන්නෙකුට නිකරුණේ අභියෝග කරන්නට, තර්ජනය කරන්නට ළං වන්නෝ අතලොස්සකි..එනිසාම බෙහෙවින් තැන්පත්ව වෙසෙමි..මට රජුන්ද, රජුන්ට මාද නැත...මෙසේ වෙතෙදු , මා මා වැන්නෙකු වීම ගැන බෙහෙවින්ම ආඩම්බර වෙමි..

මා පසු කරන කඩ ඉම්හි නො ඇලෙමි...ඒවායෙහි ගිම් නිවූමුත්, ඒවා මට අයත් නොවන නියාවද දනිමි...ඒවා හැර යතත්, එක වරක් වත් යළි දෙස හැරී වත් නොබලමි...මට කියා කිසිත් නැති වන වගද ඉඳුරාම දනිමි..එබඳු දෑ ඇති වෙතොත් යෙහෙකැයි ගින්න පළහන අසුරක වත් නොපතමි..මා... සමීපයෙහි, මා පිටුපසින්, මට ඉදිරියෙන්, මගේ පිට මත, මගේ සෙවණැල්ලේ බොහෝ දෙන කළින් කළට මා යන ගමනට සමපාත ගමනක යෙදුණා මතකය..එහෙත් එතකුදු මා එකවරක් ඇස පසෙකට හරවා "ළඟින් ඉන්නේ කවුදැයි" බැලුවා පමණකි..ඔවුහු මා සමඟ එසේ අවුත් මගේ අරමුණු විරහිත මං පෙත ඔවුන්ගේ මඟින් බෙදී වෙන් වන සන්ධිස්ථානයේදී මා අමතක කොට යන බවත්, එතැන් සිට ඔවුනට මා මඟදී මුණ ගැසුණු යෝධ ඡායාවක් පමණක් වන බවත් දන්නා හෙයින්, කිසිවෙකුත් මා සමඟ දිගටම එතොත් යෙහෙකැයි සිතා නොතැවෙමි..එසේ නොවන නියාවද දනිමි...

මා ජය ගත්තෙකුද නොවෙමි..පරාජිතයෙකුද නොවෙමි..මා ලෝකයා සමඟ දිනන්නට වත්, පරදින්නටවත් කිසිදු "තරඟයක" නියැලී නැත්තෙමි.."ඔබ ජීවිතය දිනුවාදැයි" මගෙන් පැණයක් අසන්නටවත් කිසිවෙකුත් නො එන නියාවද දනිමි..එසේ හෙයින් පැණයට පිළිතුරක් සූදානම් කර ගන්නට නොවෙ...හෙසෙමි..මේ දිගු ගමනේ මා අභිමුඛයෙහි, මේ දූලි වන මාවතේම බොහෝ දෙනෙකු, "ජීවිතය දෙස හැරී බලන දිනක සතුටක් දැනිය යුතු නිසා" එසේ දැනෙන්නට පසු කරන මඟ සකසා ගන්නට වෙහෙස වූ අයුරුත්, වෙහෙස වන අයුරුත්, වෙහෙස වන අයුරුත් දුටිමි..මම එසේ වෙහෙස නොවෙමි...මක් නිසාද මම කවදා හෝ දිනක "ජීවිතය දෙස හැරී බලන්නට" සිතා සිටින්නෙකු නොවෙමි...එනිසා මා මඟ කෙසේ තිබුණත් මට ඉන් ඵලක් නැත...


මගේ ආත්මය යම් කිසි රූප ස්වභාවයකින් යම් දිනෙක පෙනී සිටී නම් මේ රූපයයි...හිරු නැගෙතොත්, නැඟෙන හිරු බසින නියාවද දනිමි... බසින හිරු සමඟ අවට ගිලෙන අඳුර මැඳින් බැසී යන ගිනි ගෝලය දෙස බලමින් ඉදිරියට ඇදෙමි..මාත් සමඟ ආවෝ දැන් මට මතක නැත...කිසිවෙකුත් මා අවට සිටියායැයි මතක තබා ගන්නටද වුවමනා නැත..මා ඔබ සමීපයට දෙවරක් නො එමි..මේ මඟද යළි නොයමි..මේ මඟ විවිධ වූ අපූරු සතුන් අතර පසු තැවීමෙන් තොරවූ අතළොස්ස අතර මාත් ඇති බව දනිමි..මා අමුතු අමුත්තෙකි..සැමට අමුත්තෙකි...මේ මා ලියූ බොහෝ දේ අතර ඇති, මගේ ආත්මය ගැන කථාවයි...

5 comments:

  1. බ්ලොගේට සුබ පැතුම්…!!

    ඇත්තෙන්ම වැළලී යා නොයුතු සටහන් මෙසේ රැකීම යහපත් කාර්‍යක්.

    ReplyDelete
    Replies
    1. word verification අයින් කරා නම් පහසුයි සැමට.

      Delete
  2. Wow Superb work, wish you All The Best

    ReplyDelete
  3. මෙය වනාහී මාරම මාර ලස්සන සාහිත්‍ය වියමනකි.

    ReplyDelete
  4. මට නම් හිතෙන්නේ ඔයාම තමය් මේව ලියන්නේ කියලා.මායා රන්ජන් වගේ පස්සෙ කාලෙක අපිට අහු වේවි.

    ReplyDelete